පුවත් අංගය

අපගේ පුන්‍ය පුවත් අංගයෙහි වැඩිදුර තොරතුරු

මළපොතේ අකුරක්වත් නොදත් ගිහියෙක් සෝවාන් වෙන්නෙ කොහොමද?

මේ කාලයේ තියෙන තවත් මතයක් තමයි මේ. ”මෙච්චර බණ භාවනා කරන මහ තෙරවරුන් වහන්සේලාටත් මගඵල ලබා ගන්න අමාරු නම්, එක ගාථාවක්වත් ඉගෙන ගෙන විස්තර කරන්න බැරි, මළපොතේ අකුරක්වත් දන්නෙ නැති ගිහියෙක් සෝවාන් වෙන්නෙ කොහොමද?” මේ සමහර අය නගන තර්කයක්. මිනිස්සුන්ගෙ අදහස් එ් විදිහෙ බව හැබෑවක්. එ්ක පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. ලොකු ප‍්‍රතිඵලය, පිටින් ලොකුවට පෙනෙන කෙනාට දෙන්න හිතීම පෙරත් පැවතුන සිරිතක්.

හැබැයි මේ ලෝක සම්මතයේ මහ තෙරුන් වහන්සේලා කියල කිව්වට, ඇත්තටම ථෙර කියන්නෙ තිරත්වයට පත් වුනයි කියන අර්ථයෙන්. එහෙම නැත්නම් සසරින් තෙර වුනා, එතෙර වුනා කියන අර්ථයෙන්. එ් කියන්නෙ භව ගමන තිර වශයෙන්ම නතර කළ, සසරින් එතෙර වුන අරිහතුන් වහන්සේ. ඉස්සර අරිහතුන් වහන්සේලා හඳුන්වන්න තමයි මහ තෙරුන් වහන්සේ කියන වචනය භාවිතා කළේ. ඊට මෙහා මගඵලවල හිටිය පැවිදි උතුමන් වහන්සේලාත් එ් එ් මට්ටමින් තිර භාවයට පත් වෙලා හිටපු නිසා, සසරින් එතෙර වෙලා හිටපු නිසා, උන්වහන්සේලාටත් තෙරුන් වහන්සේ කියල ආමන්ත‍්‍රණය කළා. නමුත් පසුකාලයක ලෝක සම්මතයේ ජ්‍යෙෂ්ඨත්වය, තත්ත්ව තානාන්තර... ආදිය නිසාත් මහ තෙරුන් වහන්සේ කියල හඳුන්වන්න ගත්තා.

පෙර ලක්දිව සිද්ධ වෙච්ච කතාවක් අටුවා පොතක මේ විදිහට පෙන්වනවා. එක්තරා පින්වතුන් කණ්ඩායමකට, අනුපිළිවෙලින් මහ තෙරවරුන් වහන්සේලා මුලටත්, ක‍්‍රමයෙන් සාමාන්‍ය අය පසුපසටත් යන පිළිවෙලකට සකස් කරල දානයක් දෙන්න හිතුනා. භික්‍ෂූන් වහන්සේලාත් ආරාධනාව අනුව දානයට වැඩම කළා. එක භික්‍ෂූන් වහන්සේ නමක් අබලන් පාත‍්‍රයකුත් අරගෙන, ඉරිච්ච දිරා ගිය සිවුරකුත් පෙරවගෙන, එ් භික්‍ෂූන් වහන්සේලා අතර මුලින් වැඩ හිටියා. මිනිස්සු ඇවිත්, ඔබ වහන්සේ මොකද ඉදිරියෙන්, යන්න පිටිපස්සට කියල පස්සට යැව්වා. අන්තිමට උන්වහන්සේ පෝලිමේ පිටිපස්සටම යවල හිටෙව්වා.

දානය බෙදන වෙලාව ආරම්භ වුනා. පළමු බත් හැන්ද බෙදන්න හදනකොටම උන්වහන්සේ පොළොව කිමිදගෙන ඉදිරියෙන් ඇවිත් හිට ගත්තා. දානය උන්වහන්සේට බෙදුවා. පොළොව කිමිදගෙනම පසුපස හිටපු තැනින්ම මතුවෙච්ච උන්වහන්සේ, සියල්ලෝම බලා ඉඳෙත්දිම අහසට නැගල වැඩියා. මේ පුදුමය බලාගෙන හිටපු එ් පිරිස, තමන්ගෙ නොදැනුවත්කමින් භික්‍ෂූන් තේරීමේ වරද දැකල ලැජ්ජාවට පත් වුනා. අදත් මේ ගැන හිතනව නම්, කිසිම පන්සල් හිමිකමක් හෝ නැතිව, යන්තමට ජීවත් වෙන්න දෙයක් ලබාගෙන දිවි රකින, අප‍්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේලා ගැනත් වැරදි ආකල්ප ඇතිකර නොගත යුතු බව වටහා ගන්න ඕන.

බුදු රජාණන් වහන්සේ වැඩ වසන කාලයේ මාර්ග ඵල ලබන්නෙ නැතිව අපවත් වෙච්ච භික්‍ෂූන් වහන්සේලා බොහෝ හිටියා. දෙව්දත් තෙරත් මේ භික්‍ෂූන් වහන්සේලා අතර ඉඳල අන්තිමට ආනන්තරීය පාප කර්මත් කරගෙන අවීති මහා නරකාදියට ගිය කෙනෙක්. නමුත් අභිඥා බලත් ලබල හිටපු කෙනෙක් බව සඳහන් වෙනවා. එබඳු කිසිම බලයක් නැති මළපොතේ අකුරක් පවා නොදත්, බැල මෙහෙවර කරන්නියක් වෙච්ච විශාකා උපාසිකාවගේ සේවිකාවක් වුන පුන්නා දාසිය සෝතාපන්න ආර්ය ශ‍්‍රාවිකාවක්.

ලිපු‍ය තවදුරතත් කියවීම සඳහා එය බාගත කරගන්න
 https://waharaka.com/data/hela_bodu_piyuma/volumes/79.pdf#page=21